Friday 8 March 2024

මාධ්‍ය හා සමාජය

                     මාධ්‍ය හා සමාජය.






  මාධ්‍ය හා සමාජය තුළ ඇත්තේ මනා සබදතාවයකි . ඒ සමාජය තුළ වෙසෙන තොරතුරු පිපාසාවෙන් පෙළෙන මිනිසාට තොරතුරු ගෙන යන ප්‍රධානතම ක්‍රමය මාධ්‍ය වන හෙයිනි. මාධ්‍යය භාවිතයෙන් තොරව වත්මන් සමාජයේ ගමන් මග පිළිබද වත්මනෙහි දී සිතිය නොහැකි තත්වයකට පත් වී ඇත. 


    මෙහිදී විවිධාකාර මාධ්‍යයන් සමාජයෙහි ජීවත් වන්නන් විසින් භාවිතා කරන ආකාරය දැක ගත හැකිය. මෙහිදී ජන මාධ්‍යය හා සමාජ මාධ්‍ය ඒ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇති බව වර්තමානයේ දී දක්නට ලැබේ. ජන මාධ්‍යය ලෙස රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත ද සමාජ මාධ්‍ය ලෙස යූ ටියුබ්, ෆේස්බුක් , වට්ස්සැප් ආදී  මාධ්‍යද වත්මන් සමාජයේ ජීවත් වන්නන් සිය තොරතුරු අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා භාවිතා කරනු ලබයි.


    සමාජයෙහි ජීවත් වන මිනිසුන්ගේ තොරතුරු අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යනවා මිස පහළ  බැසීමක් නම් සිදු වන්නේ නැත. මෙනිසා එකී තොරතුරු අවශ්‍යතාව සපුරාලීමට හැකි පරිදි මාධ්‍ය හැඩ ගැසෙන ආකාරය ද වර්තමානයේ දී හදුනා ගත හැකිය.තොරතුරු මූලික සත්වයෙකු වන මිනිසාට මාධ්‍ය නොමැති වුවහොත් තොරතුරු දැන ගැනීමට ඇති ඉඩකඩ ක්‍රමයෙන් ගිලිහී යයි.  එනිසාම මාධ්‍ය හා සමාජය අතර සබදතාව  තව තවත් සවිමත් වී ඇත.


       නිරන්තරයෙන් විවිධ සිදුවීම් සිදු වන සමාජය තුළ එසැනින්ම ඒ පිළිබද සමාජය දැනුවත් කරනු ලබන්නේ මාධ්‍ය මගිනි. පුළුල් පරාසයක ජිවත් වන මානවයා එකට එක්  කොට තිබෙන්නේ මාධ්‍ය මගිනි. ලොව පුරා සිදු වන ඕනෑම සිදු වීමක් ඕනෑම කෙනෙක්ට ඉතා ඉක්මනින්ම දැන ගැනීමට හැකි වී තිබෙන්නේ මාධ්‍ය නිසාය. දිනෙන් දින දියුණුවන  ලොව  තුළ මාධ්‍ය ද නිරන්තරයෙන් දියුණු වන්නේ එනිසාම ය.


මිනිසා සමාජය හා මාධ්‍ය අතර සබැඳියාව දිනෙන් දින වර්ධනය වන්නක් මිස කිසිදා වියැකී යන්නක් නොවන බව හදුනා ගත හැකිය. යම් සමාජයක පැවැත්ම රදා පවතින්නේ තොරතුරු මතය.  සිදු වන කිසිදු සිදුවීමක් පිළිබද දැන ගැනීමට නොහැකි වුවහොත් සමාජ ප්‍රගමනයට ද එමගින් ප්‍රබල බලපෑමක් සිදු වන බව හදුනා ගත හැකිය.


      මාධ්‍යයේ පැවැත්ම රදා පවතින්නේ ද සමාජය තුළය. මාධ්‍ය යනු සමාජ අවශ්‍යතා පදනම් කොට ගෙන සමාජය තුළින්ම නිර්මාණය වුවකි. එනිසා මාධ්‍ය හා සමාජය අතර බැදීම් අවියෝජනීය බව හඳුනා ගත හැකිය.

 

 

 

     

Thursday 13 July 2023

සමාජ වෙනස්වීම් වල ස්භාවය

 







ප්‍රවේශය 

         සමාජය සැකසී ඇත්තේ යම් කිසි ජන සමූහයක එකතුවෙනි.එකී ජන සමූහයට අයත් ජනයා විවිධ කාල වලදී විවිධාකාර වෙනස් වීම් වලට මුහුණ දෙන අතර එකී ජනයා ජිවත් වන්නා වූ සමාජය ද එලෙස වෙනස් වීම් වලට ලක් වීම නිරායාසයෙන්ම සිදු වන්නකි.මෙකී වෙනස් වීම සමාජයෙන් ,සමාජයට විවිධාකාර වේ.ලොව පවතින සෑම සමාජයක්ම කුමන හෝ වෙනස් වීමකට ලක් වීම නිරායාසයෙන්ම සිදු වන්නකි.මෙය තරමක සංකීර්ණ ක්‍රියාවලියකි.

  

අන්තර්ගතය

    සමාජ වෙනස් වීම කෙරෙහි ප්‍රබලවම බලපානු ලබන්නේ මානව ක්‍රියාකාරකම් වේ. මෙකී වෙනස් වීම කෙටි කාලීනව හෝ දිගු කාලීනව සිදු විය හැකිය.මෙකී සමාජ වෙනස් වීම කෙරෙහි විවිධාකාර ගැටලු බලපානු ලබයි .  ගෝලීයකරණය මෙහිදී ප්‍රමුක වේ.සමාජයක ජීවත් වන පුද්ගලයන් එකිනෙකට වෙනස්ය.


     එකී වෙනස්කම් වලින් සමන්විත වූ පුද්ගලයන්ගෙන් සමන්විත වූ විට සමාජයද විවිධ වෙනස් වීම් වලට ලක් වන්නේ නිරායාසයෙන්ම ය.සමාජය වෙනස් වීම එකී සමාජයේ ජීවත් වන්නන්ට ද බලපෑම් කරනු ලබයි.සමාජයේ ජීවත් වන්නෝ ද සමාජ වෙනස් වීම් අනුව හැඩ ගැසෙන්නේ නිරායාසයෙන් ය.


   මෙකී සමාජ වෙනස්වීම විවිධ ආර්ථික , සමාජ,සංස්කෘතික සාධක මගින් මනාව නිරූප්නය වන  අයුරු දැක ගත හැකිය.

    උදා .  යම් කිසි සමාජයකට නවමු සිරිත් විරිත් පැම්නි  විට  එකී සමාජයේ බෝහෝ පිරිස් එයට අනුගත වනු දැකිය හැකිය.


       මෙලෙස සිදු වන සමාජ වෙනස් වීම් කාලයෙන් කාලයට විවිධාකාර වේ.මෙකී වෙනස් වීම් අනුව කලින් කලට  විවිධ සමාජ පරිවර්තන සිදු වනු දැක ගත හැකිය. මෙකී සමාජ පරිවර්තන හමුවේ සමාජයන්ට විවිධාකාර සංස්කෘතික අංග ආදිය එක් වීම දක්නට ලැබේ.


     මෙලෙස සමාජය තුළ පවතින විවිධාකාර වෙනස්කම් හදුනා ගත හැකිය.එකී වෙනස්කම් සමාජයෙන් සමාජයට විවිධත්වයෙන් යුතු වේ.කවර ජන සමාජයක වුවද සමාජ වෙනස්වීම් විවිධාකාර අයුරින් සිදු වනු දක්නට ලැබේ.වෙනස්කම් වලට භාජනය නොවන සමාජයක් හදුනා ගැනීමට නොහැකි තරම්‍ වේ.


         නවීන තාක්ෂණය හමුවේ සමාජ විවිධ පරිවර්තනයන්ට යොමු වේ.එවිට බිහි වන්නේ දියුණු සමාජයන් වේ. මෙකී දියුණුව තාක්ෂණය ඔස්සේම  පමනක් නොව මිනිසාගේ ආද්‍යාත්මය තුළ ද සිදු විය යුත්තකි.එවිට සමාජ වෙනස් වීම් මානවයාගේ මෙන්ම සමාජයේ ද යහපත උදෙසා සිදු වනු නොඅනුමානය .

Sunday 9 July 2023

සන්නිවේදනය හා සමාජය


ප්‍රවේශය .


     සන්නිවේදනය හා සමාජය අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවයකි. සමාජයක පැවැත්ම රදා පවතින්නේ සන්නිවේදනය හේතු කොට ගෙනය . සන්නිවේදනය නොමැති වුවහොත් එය සමාජයේ පැවැත්මට බලපෑම් එල්ල කරනු ලබයි. සමාජයක සියලු දෑ තීරණය කරනු ලබන ප්‍රධාන සාධකය වන්නේ ද සන්නිවේදනය වේ. සමාජයේ ජීවත් වන පුද්ගලයන් අනෙක් අය සමග සිය අදහස් ,මතවාද හුවමාරු කර ගනු ලබන්නේ ද සන්නිවේදනය ඔස්සේය . මෙය වාචිකව මෙන්ම විවිධාකාර අයුරින් සිදු වනු දැකිය හැකිය.


සන්නිවේදනය හා සමාජය අතර ඇති සබදතා .


         සන්නිවේදනය යන්නෙහි අරුත මනා කොට නිවේදනය කරන්නා වූ දැනුම යන්නයි.මෙහිදී සමාජයේ ජීවත් වන පුද්ගලයන්ට අවශ්‍ය තොරතුරු සන්නිවේදනය මගින් සමාජය වෙත ගෙන යනු ලබයි.


         කුඩා දරුවෙකු ඉපදී ක්‍රමයෙන් සමාජයට හුරු වෙමින් හැදී වැඩෙන්නේ සන්නිවේදනය උපයෝගී කොට ගෙනය. තම මවගේ තුරුලේ හැදී වැඩෙන දරුවා මවගෙන් මිදී ක්‍රමයෙන් වැඩෙත්ම පවතින සමාජයට අනුව හැඩ ගැසෙන්නේ සන්නිවේදනය උපයෝගී කොට ගෙනය.

 

         සමාජයක් යනු පුද්ගල කණ්ඩායමකින් සැදුම් ලත් ඒකකයකි.මෙකී සමාජය තුල විවිධ මට්ටම් වලට අයත් පුද්ගලයන් ජීවත් වේ.ඔවුන්ට සමාජය තුල ජීවත් වීමේදී එකිනෙකා හා තොරතුරු හුවමාරු කර ගැනීම අතයවශ්‍ය වේ.එයට සන්නිවේදනය වැදගත් වේ.එනිසා සමාජය තුල ජීවත් වන පුද්ගලයන්ට සන්නිවේදනයෙන් තොරව ජීවත් විය නොහැකිය.

          තමා ජීවත් වන සමාජයේ පුද්ගලයන් කවුද ,ඔවුන්ගේ ස්භාවය කෙබඳු  ද යන්න දැන ගත් හැක්කේ ඔවුන් හා සන්නිවේදනය කිරීමෙනි.

          තමාට සමාජයේ හිමි වී ඇති තැන පුද්ගලයා දැන ගන්නේ සන්නිවේදනය ඔස්සේය.තමා කවුද,තමාට සිදු කල හැක්කේ කුමක්ද යන්න දැන ගැනීම සමාජයේ ජීවත් වන්නෙකුට අතිශය වැදගත් වේ.එවිට පුද්ගලයෙකුට සමාජයේ ජීවත් වීම පහසු කරනු ලබයි


         එසේම සමාජයේ ජීවත් වන අනෙකුත් පුද්ගලයන් පිලිබද හදුනා ගැනීමට ද පුද්ගලයන්ට සන්නිවේදනය අතිශය වැදගත් වේ.

          පුද්ගලයන්ට සමාජයක් තුළ එකට එක්ව ජීවත් වීමට නම් ඔවුනොවුන් එකිනෙකා අතර මනා අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුය.එයට උපකාර වන්නේද සන්නිවේදනයයි


            මෙනිසා  සනිනිවේදනයෙන් තොරව සමාජයක් පවත්වාගෙන යාම අසීරු බව පැහැදිලි වේ. සමාජයේ පැවැත්මෙහි මූලික පදනම සකස් කරනුයේ සන්නිවේදනය මගිනි. සන්නිවේදනය හා සමාජය නිරායාසයෙන් ම ඒකාබද්ධ වී ඇති බව මෙමගින් පැහැදිලි වේ.

  

         සන්නිවේදනයෙන් තොරව සමාජයට පැවැත්මක් නොමැති තරම්‍ වේ. සියලු පුද්ගලයන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වේ. සන්නිවේදනය නොමැති නම් පුද්ගලයන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට අපහසු වේ.සමාජයක පැවැත්ම තහවුරු කිරීමට නම් එකී සමාජය තුළ වෙසෙන සියල්ලන්ගේ අදහස් එයට දායක කර ගත යුතුය.එසේ සිදු කිරීමට නම් සනිනිවේදනය එයට වැදගත් වේ.මෙමගින් පැහැදිලි වන්නේ සන්නිවේදනය හා සමාජය අතර මනා සබඳතාවයක් පවතින බවයි.එය සුවිශේෂ වේ.මන්ද සන්නිවේදනය මෙන්ම සමාජය ද වැදගත් වන නිසාවෙනි.

Friday 9 June 2023

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය .




 

ප්‍රවේශය .

 

 

        දශක ගනනාවක් තිස්සේ මෙරට තුල ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වූ ආර්ථික අර්බුදය වත්මන වන විට  උච්ච්තම අවස්තාවට පත් වී ඇත.මෙනිසා ලාංකීය ඉතිහාසය තුළ මෙරටට මුහුණ දීමට සිදු  වූ  දරුනුතම ආර්ථික අර්බුදය මෙය බවට පත් වී ඇත. මෙකී ආර්ථික අර්බුදය හේතු කොට ගෙන මෙරට තුළ විවිධාකාර ගැටලු පැන නගින ලදී. එහි ප්‍රතිඵල වර්තමානයේ අපද අත් විදිමින් සිටී.

 

ආර්ථික අර්බුදයන් ඇති වීමට බලපෑ හේතු සාධක .

 

 

     මෙරට තුළ ඇති වූ ආර්ථික අර්බුදය කෙටි කාලීනවම ඇති වූ තත්වයක් නොවේ.මෙය දිගු කාලීන තත්වයක ප්‍රතිඵලයකි.නමුත් මෑත කාලීනව මෙරටට මුහුණ දීමට සිදු වූ විවිධ බාදක නිසා මෙය අර්බුදකාරී තත්වයකට පත් විය.

 

    මෙයට ප්‍රබලවම බලපෑම් කල හේතු සාධකයක් ලෙස ලොව පුරා අති විශාල පිරිසකට බ්ලපෑම් එල්ල කල කොරෝනා වසංගතය දැක්විය හැකිය.මෙය මෙරට ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව ලෙස සැලකිය හැක.චීනයෙන් ආරම්භ  වූ මෙකී රෝගය 2019 වසරේ ක්‍රමයෙන් ලොව පුරා පැතිරෙමින් 2020 වසර වන විට මෙරට තුලින් මුලින්ම රෝගියෙකු හමු වීමේ තත්වයට පත් විය. ටික කලකට පසු මෙම රෝගය මෙරට සමාජය පුරා පැතිරීම ආරම්භ විය.මෙනිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සම්පත් සැකසීමට සිදු විය.රෝගීන්ට අවශ්‍ය  බෙහෙත් වර්ග පිට රටින් ගෙනිවීමට සිදු විය.මෙම කටයුතු සදහා අධික වියදමක් දැරීමට සිදු විය. රෝගයට ගොදුරු වූ පිරිස් නිරෝධානය කිරීමට ,ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට ද සිදු විය.රෝගය මැඩලීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට ද අදික වියදමක් දැරීමට සිදු විය. විදේශ රටවලින් ඒ සදහා අවශ්‍ය එන්නත් වර්ග ගෙන්වීමට  සිදු විය.මේ සියල්ලටම අධික වියදමක් දැරීමට සිදු වූ නිසා මෙරට ආර්ථික අර්බුදයට මෙය ප්‍රබල ලෙස බලපෑම් කරන ලදී.

 

        එමෙන්ම මෙම වසංගතය නිසා ලොව පුරා සංචාරක කර්මාන්තය බිද වැටීමට ලක් විය  . ශ්‍රී  ලංකාව යනු සංචාරක කර්මාන්තයෙන් විශාල ආදායමක් ලබා ගන්නා රටකි. කොවිඩ් රෝගය නිසා සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් විය.මෙනිසා මෙරට ආර්ථිකය බිද වැටීමට මෙය හේතු විය. එය මෙරට ආර්ථිකයට දැරිය නොහැකි පාඩුවකි. මෙමගින් සිය ජීවිකාව ගෙන යන පිරිස් රැසක් මෙරට සමාජයේ සිටී.ඔවුන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් කඩා වැටීමට ලක් විය.

 

   එසේම යුක්රේන රුසියා යුද්ධය ද මෙයට බ්ලපෑම් කල ආසන්නතම හේතුවකි .මෙය මෙරට ආර්ථික අර්බුදයට බලපෑම් කරන ලදී.භාණ්ඩ ආනයන,අපනයන කටයුතු වලදී මෙය මෙරට ආර්ථිකයට බාධාවක් විය.මෙහි ප්‍රතිඵල වර්තමානයේ අප අත් විදිමින් සිටී.

 

එමෙන්ම මෙයට දිගු කාලීන හේතුද බලපෑම් කරන ලදී.මෙරට තුල නිසි ක්‍රමවේදයක් අනුව ආර්ථික කටයුතු පාලනය  වීමක් දක්නට නොලැබුනි.මෙයද වත්මන් අර්බුදකාරී තත්වයට ප්‍රබල ලෙස බලපෑම් කරන ලදී.මෙරට තුළ පැවති ගැටලු විසදීමට මෙන්ම සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට විදේශයන්ගෙන් ණය ලබා ගත් අතර ඒවා ගෙවීම් කටයුතු සිදු කිරීම ආදිය අපහසු  වීම නිසා ඒවා ප්‍රමාද කිරීමට සිදු විය.මෙනිසා මෙරට ණය ප්‍රමාණය ද ක්‍රමයෙන් ඉහළ යන ලදී.

එනිසා විවිධ ආර්ථික දුශ්කරතා ඇති විය.මේකී ගැටලු දිනෙන් දින වැඩි වූවා මිස ගැටලු වලට විසදුම් නොලැබුනි.මෙනිසා මෙරට ආර්ථික අර්බුදයට  මෙයද හේතු සාධකයක් බවට පත් විය.

 

ආර්ථික අර්බුදයෙන් ඇති වූ බලපෑම් .

 

         ඉහත දැක්වූ හේතු සාධක මෙන්ම තවත් විවිධාකාර හේතූන් නිසා වර්තමානයේ මෙරට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබේ.මෙහිදී මෙරට තුළ පැවති විදේශ සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් පහළ  යාම මෙහිදී කැපී පෙනුනි.මෙනිසා මෙරට ආර්ථික ගැටලු රාශියක් ඇති විය.මෙරටට අවශ්‍ය භාණ්ඩ ආනනයට බාධා මතු විය.එනිසා භාණ්ඩ ආනනයට සීමා පැනවීමට සිදු විය.මෙරට වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිගයක් මතු විය.අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ආදිය ගෙන්වීමට නොහැකි වූ නිසා විවිධ ගැටලු මතු විය.මෙරට වෙළෙඳපොළ තුළ ද භාණ්ඩ මිල ඉහළ යාම සිදු විය.මේ සියල්ල ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයි.

 

ආර්ථික අර්බුදය විසදීමට ගත හැකි ක්‍රියාමාර්ග .

 

 

      මෙරට පවතින ආර්ථික අර්බුදය විසදීමට නම් මූලිකවම මෙරට පවතින විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දැමිය යුතුය.මෙරට පවතින දේශීය කර්මාන්ත ප්‍රවර්දනය  කොට මෙරටට අවශ්‍ය සම්පත්වත් මෙරට තුළම නිපදවා ගත යුතුය.එමෙන්ම මෙරට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය ඉහල මට්ටමක පවත්වා ගත යුතුය . ඒ සදහා මෙරට තුළ නිශ්පාදනය කරනු ලබන නිශ්පාදනයන් උසස් , ගුණාත්මක මට්ටමින් අපනයනය කිරීමට කටයුතු කළ යුතුය. සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි සංවර්ධන වයාපෘති මෙරට තුළ ක්‍රියාත්මක කළ යුතු අතර නිසි සැලසුමකට අනුව සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම තුලින් මෙරට පවතින ආර්ථික අර්බුදය ජය ගත හැකි වනු ඇත.


Thursday 1 June 2023

ශ්‍රී ලංකාවේ සමාජ ගැටලු


  

ප්‍රවේශය .


         සමාජයක් යනු මිනිසුන් සමූහයකින් සැදුම් ලත් ඒකකයකි.මෙකී සමාජය තුළ විවිධාකාර ආගම්,සංස්කෘතීන්ට අයත් පිරිස් එකට එක්ව ජීවත් වේ.එකී සමාජයන්හි විවිධාකාර ගැටලු ඇති වීමේ ප්‍රවණතාවය වැඩිය.



     සමාජ ගැටලු යන්න අර්ථ දැක්වීම.

 

       සමාජ ගැටලු යනුවෙන් අර්ථවත් වන්නේ විවිධ සමාජවල පුද්ගලයන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා හා අභියෝගයන්ය.මේවා එක් සමාජයකින් තවත් සමාජයකට වෙනස් වන ආකාරය දැකිය හැකිය.මෙමගින් යම් කිසි ප්‍රජාවකගේ සංවර්ධන ක්‍රියාවලියට බාධාවන් පමුණුවනු දැකිය හැකිය. සමාජ ගැටලු ඇති වීමට බලපෑම් කරනු ලබන්නේ එක් එක් සමාජ වල පවතින ආර්ථික ,දේශපාලන , සමාජමය සාධක වේ.

 



ශ්‍රී ලාංකික සමාජයේ දක්නට ලැබෙන සංවර්ධන ගැටලු.


         ශ්‍රී ලාංකික සමාජය දෙස අවධානය යොමු කිරීමේදී මෙරට සමාජයේ විවිධාකාර සමාජමය ගැටලු පවතිනු හදුනා ගත හැකිය.මෙරට පවතින සමාජ ,ආර්ථික ,දේශපාලන  හේතු සාධක මෙයට බලපා ඇත.මෙරට තුළ හදුනා ගත හැකි සමාජ ගැටලු ලෙස ,

·        මත්ද්‍රව්‍ය භාවිතය අධික වීම.

·        ළමා අපවාර ඉහළ යාම.

·        විරැකියා අර්බුද නිර්මාණය

·        වයස්ගත පිරිස් ඉහළ යාම.

·        දරිද්‍රතාව ඉහළ යාම.

       ආදී ගැටලු දැක්විය හැකිය.

 



මත්ද්‍රව්‍ය භාවිතය අධික වීම .

       මත්ද්‍රව්‍ය භාවිතය අධික වීම මෙරට මාජයේ දක්නට ලැබෙන ප්‍රබල ගැටලුවක් බවට පත් වී ඇත.මුලු සමාජයම මත්ද්‍රව්‍ය වලට ගොදුරු වී ඇත. රටේ තරුණ පිරිස මෙන්ම පාසල් සිසුන් මේ සදහා යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

      මෙනිසා සමාජ පැවැත්මට දායක විය යුතු පිරිස සමාජයට අහිමි වීමේ අවදානමක් මතු වී ඇත.මනස විකෘර්ති වීම නිසා බෝහෝ දෙනා සිය දිවි අහිමි කර ගැනීම,විවිධ අපරාධ සිදු කිරීමට පෙළඹී ඇත .මොවුන් නීතිමය කටයුතු සදහා යොමු කිරීමට   , පුනරුත්ථාපනය කිරීම් ආදියට විශාල වියදමක් දැරීමටද සිදු වී ඇත.මෙනිසා මත්ද්‍රව්‍ය මෙරට සමාජය තුල දැඩ් ගැටලුකාරී තත්වයකට පත් වී ඇත.

       මෙරට  සමාජය යාවත්කාලීන කිරීමට මත්ද්‍රව්‍ය ගැටලුවට විසදුම් සෙවිය යුතුය.එය කාලීන අවශ්‍යතාවයකි.



     ළමා අපචාර ඉහළ යාම.


     වර්තමානයේ නිරන්තර කතාබහට ලක් වන මාතෘකාවක් බවට ළමා අපචාර දැක්විය හැකිය.ළමා අපචාර යනුවෙන් හැදින්වෙන්නේ යමෙකු විසින්  ළමයින් සදහා සිතා මතා සිදු කරන්නා වූ නීතිවිරෝධී ක්‍රියාවන්ය.ළමයෙකු යනුවෙන් මෙරට තුළ හදුන්වන්නේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් වේ.මොවුන්ට ශාරීරික ,මානසික ආදී විවිධාකාර අයුරින් සමාජයේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් වලට මුහුණ දීමට සිදු වේ.වැඩිහිටියන්ගේ අවධානයෙන් ගිලිහුණු දරුවා සමාජයේ අදුරු හස්තයන්ගේ බලපෑමට නතු වීමේ වැඩි ප්‍රවණතාවයක් මෙරට සමාජය තුළ හදුනා ගත හැකිය.පසුගිය කාලයේ මෙරටින් එවැනි සිදුවීම් ගනනාවක්ම වාර්තා විය.මෙරට සමාජයේ කුඩා දරුවන් බෝහෝ විට අනාරක්ෂිත තත්වයට පත් වී ඇත.

        රටක අනාගත බාර ගැනීමට සිටින දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුය.

 

 

     

විරැකියාව ක්‍රමයෙන් ඉහළ යාම.


       මෙරට සමාජයේ පවතින ප්‍රබල සමාජ  ගැටලුවක් ලෙස විරැකියාව දැක්විය හැකිය. මෙරට පවතින සමාජ ,ආර්ථික ,දේශපාලන   හේතු සාධක විරැකියාව කෙරේ ප්‍රබල ලෙස බලපා ඇත.

       විරැකියාව යනුවෙන් අදහස් වන්නේ පුද්ගලයෙකු වැඩ නොකරන විට ඇති වන තත්වයයි.මෙම කාණ්ඩයට අයත් වන්නේ අවුරුදු 18-65ත් අතර පුද්ගලයන්ය.

      මෙකී වයස් කාණ්ඩයට  අයත් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරට තුළ රැකියා වල නිරත නොවේ.බෝහෝ විට මෙයට අයත් වන්නේ රටේ තරුණ ප්‍රජාවයි.ඔවුන්ගේ   උගත් කමට ගැළපෙන රැකියාවක් නොමැති වීම හෝ ගැළපෙන වැටුපක් මෙරටදී නොලැබීම මෙයට ප්‍රධාන හේතු සාධකය වී ඇත .එමෙන්ම මෙරට ආර්ථික තත්වයට බිද වැටීම හා එනිසා නව රැකියා උත්පාදනය නොවීමද මෙයට බලපා ඇත.මෙකී ගැටලුව දිගින් දිගටම පැවතුනහොත් සමාජය තුළ තවත් ප්‍රබල ගැටලු රාශියක් ඇති විය හැකිය.

     තරුණයන්ට සුදුසු රැකියා නොලැබී යාම නිසා තරුණ ප්‍රජාව තුළ අසහනය නිර්මාණය වී ඇත.එමෙන්ම සමාජය තුළ නොයෙකුත් ආර්ථික ගැටලු නිර්මාණය වී ඇත.

      මෙරට සමාජය තුළ  දක්නට ලැබෙන විරැකියාව අවම කිරීමට සුදුසු ක්‍රමවේද භාවිතා කර විසදුම් සෙවීම සිදු කළ යුතුය.

 



වයස්ගත පිරිස ඉහළ යාම.

 

     වයස් ගත පිරිස ඉහළ යාම යනුවෙන්  අදහස් කරන්නේ ජන සංඛ්‍යාවක වයස් ගත පුද්ගලයින්ගේ ප්‍රමාණය රටක සමස්ත ජන සංඛ්‍යාවට සාපේක්ෂව ඉහළ යාමයි.

     අනෙක් රටවල් හා සංසන්දනය කිරීමේදී ලංකාවේ වැඩිහිටි ජනගහන ප්‍රතිශතය ඉහළ මට්ටමක් ගනී.මෙනිසා ජනගහණය අතින් ශ්‍රී ලංකාව සංවර්ධනය වූ රටක ස්වරූපය ගනී. මෙරට පවතින සෞඛ්‍ය පහසුකම් ආදිය මෙයට හේතු සාධක වී ඇත.

       මෙරට වයස්ගත ජනගහණය වැඩි වීම නිසා විවිධ ආර්ථික ,සමාජ ගැටලු නිර්මාණය වී ඇත.වයස්ගත පිරිස අනෙක් අය මත යැපෙන්නන් වීම නිසා ඔවුන් රැක බලා ගැනීමට ,පෝෂණය කිරීමට සිදු වන්නේ රටේ ශ්‍රම බලකායටයි.එවිට රටේ ආර්ථිකයටද ප්‍රබල බලපෑමක් සිදු වේ.

    නමුත් මෙරට වැඩිහිටියන් යනු ඉවත දැමිය හැකි පිරිසක් නොවේ.ඔවුන් අත්දැකීම් වලින් පරිපූර්ණ වූවෝය.එනිසා ඔවුන්ගේ අත්දැකීම් උපදෙස් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගත හැකිය.

 

 


     දරිද්‍රතාවය වර්ධනය වීම.

       

       දරිද්‍රතාවය යනුවෙන් අදහස් වන්නේ මූලික පැවැත්ම සදහා අවශ්‍ය සම්පත්වත් නොමැතිකම හා ජීවත්වීමේදී අපේක්ෂිත අවම මට්ටමේ ජීවන තත්වයක්වත් සපුරාලීමට වත් නොහැකි තත්වයයි.

       ලාංකික සමාජයේ දරිද්‍රතාව ප්‍රබල ගැටලුවක් බවට පත් වී ඇත.මෙරට දිළිදු ජනතාවට එදිනෙදා අවශ්‍යතාවන් සපුරාලීම අවශ්‍ය ආර්ථික තත්වයක් වත් වර්තමානයේ දක්නට නොලැබේ.මෙනිසා ආහාර හිගය,දරුවන්ගේ අධයාපනය අඩාල වීම ආදී ගැටලු මතු වේ.

       රටේ දිළිඳු ජනයා මුහුණ දෙන මෙකී ගැටලුවට විසදුම් සෙවිය යුතුය.ඔවුන්ගේ ජීවන මට්ටම උසස් තත්වයට පත් කර ලිය යුතුය.එය රටේ සංවර්ධනයට මනා පිටුවහලකි.

      මෙලෙස මෙරට සමාජයේ පවතින සමාජ ගැටලු හදුනා ගත හැකිය.එකී ගැටලු වලට විසදුම් සෙවීම යුගයේ අවශ්‍යතාවකි .එමගින් වඩාත් සාර්ථක සමාජයක් මතු පරපුරට දායාද කිරීමේ හැකියාව පවතී.

මාධ්‍ය හා සමාජය

                     මාධ්‍ය හා සමාජය.   මාධ්‍ය හා සමාජය තුළ ඇත්තේ මනා සබදතාවයකි . ඒ සමාජය තුළ වෙසෙන තොරතුරු පිපාසාවෙන් පෙළෙන මිනිසාට තොරතුරු...